ලොව ප්‍රධාන නගර කිහිපයක පාලන වගකීම කාන්තාවන්ට

ප්‍රංශයේ පැරීසිය, ඉතාලියේ රෝමය, ස්පාඤඤයේ බාර්සිලෝනා නුවර, චෙක් ජනරජයේ ප්‍රාග්, සහ වර්සෝ, බැග්ඩෑඩ් ඇතුලූ ප්‍රධාන පෙළේ නගර බොහෝමයක පාලන වගකීම දරන්නේ කාන්තා නගරාධිපතිනියන් විසිනි.

මෙය නව ප්‍රවණතාවයකි. නව ප්‍රවණතාවයක් යැයි කීවේ, මීට පෙර කිසිදු අවස්ථාවක, මේ නගර, තමන්ගේ ප්‍රධානියා ලෙස කාන්තාවන් තෝරා පත් කර ගෙන නොතිබුණු බැවිනි.

බැග්ඩෑඩයේ හැරුණු කොට, ඉහත නගර සියල්ලේම වාගේ නගරාධිපතිනියන් තෝරා පත් කර ගනු ලැබුවේ මහජන ඡන්දයෙනි.

පැරීසිය පාලනය කරන, ඈන් හීඩල්ගෝ, ප්‍රංශ සමාජවාදී පක්ෂය නියෝජනය කරයි.

2014 දී මැතිවරණයට ඉදිරිපත් වූ ඈන්, ඒ මැතිවරණයේ දී 55% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් ජයග්‍රහණය කිරීමට සමත් විය.

ඈන් හීඩල්ගෝ, පැරීසියේ පරිසර දූෂණයට එරෙහි සටන සියතට ගෙන තිබේ. ඇගේ ඒ සටනට පැරිස් ජනයාගේ සහාය නොමදව ලැඛෙන බවද කිව යුතුයි.

රෝමය පාලනය කරන, වර්ජිනියා රගී, දූෂණ විරෝධී සටනකට නායකත්වය දෙයි. ඇගේ සටන දූෂණයට එරෙහි සටනකි. අනාගත පරම්පරාව, නිදහස් සාමකාමී රෝම පුරවරයක පුරවැසියන් බවට පත් කිරීම ඇගේ අභිප්‍රායයි.

නගරාධිපතිනියන් අතර සිටින වඩාත්ම රැඩිකල් නගරාධිපතිනිය , ස්පාඤඤයේ බාර්සිලෝනාව පාලනය කරන ඒඩා කොලව් ය.

ඇගේ සටන බාර්සිලෝනාවේ නිර්ප්‍රභූ දුප්පත් ජනතාවට, ඔවුන්ගේ අයිතිවාසිකම් දිනා දීම සඳ හා යොමු වී තිබේ. නගරාධිපති සටන ජයග්‍රහණය කිරීමෙන් පසුව ඒඩා කොලව්, ඇගේ ජයග්‍රහණය බාර්සිලෝනාවේ නිර්ප්‍රභූ ජනතාව වෙනුවෙන් පරිත්‍යාග කළා ය.

මේ සියලූ නගරාධිපතිනියන්, පිරිමින් හා සමානව සහ අනාගත පරම්පරාව කෙරෙහි වූ ඊටත් වඩා වැඩි ආදරයකින් යුතුව තමන්ගේ නගර පාලනය කරයි.

අනාගත සැලසුම් සදයි. සටන් කරයි. පෙබරවාරි 10 වන දා පැවැත්වෙන මැතිවරණයෙන් රෝසී සේනානායක මහත්මිය කොළඹ පුරපති අසුනට තේරී පත් වුවහොත්, කොළඹ පළමු පුරපතිනිය ලෙස ඈ ඉතිහාස ගත වනු ඇති.

ස්වාධීන විචාරකයන්ගේ අදහස නම්, කොළඹ පුරපති සටනින් රෝසී සේනානායක නිසැක ලෙසම ජය ගන්නා බවයි. ඇගේ ජයග්‍රහණය අලූත් බලගතු කොළඹක ආරම්භය වනු ඇති බව ඔවුන්ගේ විශ්වාසයයි.

කොළඹ පළමු පුරපතිනිය බවට පත් වීමේ වාසනාව හිමි වූවත්, රෝසී ලංකාවේ පළමු පුරපතිනිය නොවේ. රෝසිට පෙර, මහනගරයක් පාලනය කළ පුරපතිනියක් සිටින්නිය.

ඒ යාපනය මහ නගර සභාව පාලනය කළ සරෝජනී යෝගේස්වරන් මහත්මියයි.

1997 වසරේ පැවති මැතිවරණයෙන්, යාපනයේ නගරාධිපතිනිය ලෙස සරෝජනී යෝගේස්වරන් තේරී පත් වූ වා ය.

ඈ, දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ නියෝජ
න කළ අපේක්ෂිකාවයි. නමුත් වැඩිකල් පුරපති අසුනේ වාඩි වී සිටීමට ඇයට නොහැකි විය. එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් ඈ මරා දැමුවා ය.