තේ නිෂ්පාදනයට කුඩා තේවතු හිමියන්ගේ දායකත්වය වැඩි වෙලා

කාලගුණ ප්‍රශ්න වගේම ප්‍රතිපත්තිමය ගැටලු පැන නැඟීම් මධ්‍යයේ අප මුහුණ දුන් බාධක ජයගෙන තේ නිෂ්පාදන කර්මාන්තයෙන් සුවිශේෂ ජයග්‍රහණ ලැබූ ඉතාම සාර්ථක වර්ෂයක් නිම කළා යැයි වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතා පවසා සිටියේය.

අමාත්‍යවරයා එසේ පවසා සිටියේ පසුගිය 2017 වර්ෂයේදී වසර 150ක් සපිරුණු මෙරට තේ කර්මාන්තයෙන් ලබාගත් ප්‍රගතිය මෙන්ම තිබූ අභියෝග ජයගත් ආකාරය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමට පසුගියදා (24) කොල්ලුපිටිය තේ මණ්ඩල ශ්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ ද කීවේය.

මුලින්ම කීවොත් 2014, 15, 16 යන වර්ෂ තේ කර්මාන්තයට එතරම් හිතකර වර්ෂ වුණේ නැහැ. විශේෂයෙන්ම නිෂ්පාදනය හා මිල තත්ත්වයන් පහළ වැටුණු වසර තුනක් හැටියට හඳුන්වන්න පුළුවන්. එම නිසා 2015දී මා ඇමැතිකම බාරගන්නා විට අපගේ නිෂ්පාදනය වූයේ කිලෝග්‍රෑම් මිලියන 328ක්. 2016දී මෙය මිලියන 292 දක්වා අඩු වුණා. නමුත් ගිය වර්ෂයේදී එය කිලෝග්‍රෑම් මිලියන 307ක් දක්වා නිෂ්පාදනය වැඩි කරමින් ඉතාමත්ම ශක්තිමත් විදිහට තේ නිෂ්පාදනය වැඩි කරගැනීමට අපට හැකියාව ලැබුණා. ඒ නිසා මම හිතනවා 2017 කියන්නෙ තේ කර්මාන්තයට ඉතාම ස්ථාවර වර්ෂයක් කියා. ඒ වගේම නිෂ්පාදනය වැඩිවීමත් සමඟම මිල තත්ත්වයත් ඉතාම හොඳ තත්ත්වයකට පරිවර්තනය වුණා. එය උඩරට, මධ්‍යම, පහතරට ලෙස රට පුරාම මිල ඉහළ ගියා. එහිදී 2015දී පහතරට තේ කිලෝවක් සඳහා රුපියල් 61ක් ලැබුණු මිල ගිය වර්ෂයේදී රුපියල් 93 දක්වා වැඩි වෙලා තියෙනවා. සමස්තයක් වශයෙන් 2016 සිට 2017 දක්වා මිල 32%කින් වැඩි වී තිබෙනවා.

මා ඇමැතිකම බාරගන්නා මොහොතේ ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රී ජයන්ත සමරවීර 2015 පාර්ලිමේන්තු අයවැය කතාවේදී මට දැඩි සේ චෝදනා කළා, ‘ඔබතුමාගේ ඇමැති ධුර කාලයේ තමයි තේ නිෂ්පාදනය අඩුවෙන්ම සිදුවන්නෙ’ කියා. නමුත් අද තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස්. මා මේ මොහොතේ තේ කර්මාන්තයේ නියැළී සිටින සියලුම දෙනාට වගේම සියලු පාර්ශ්වකරුවන්ට හෘදයාංගම ස්තූතිය පුද කරනවා. මෙවන් ජයග්‍රහණ ලබා ගැනීම වෙනුවෙන් කැපවීම සම්බන්ධව. විශේෂයෙන්ම තේ වෙළෙදුන්ගේ සංගමයේ සභාපති ඇනස්ලම් පෙරේරා මහතා ඇතුළු කණ්ඩායම විශාල වැඩ කොටසක් ඉටුකළා

එසේම දත්තවලින් පෙන්නුම් කරනවා පෞද්ගලික කුඩා තේ කර්මාන්ත ශාලා හරහා 67.46%ක නිෂ්පාදන ධාරිතාවක් ලැබී තිබෙන බව. නමුත් විශාල කර්මාන්ත ශාලාවලින් ලැබී තිබෙන්නෙ 32.54%ක නිෂ්පාදනයක්. ඒ අනුව එම වෙනස්කම්වලින් පෙනී යන්නෙ මීට අවුරුදු 25කට 30කට පෙරදී අපගේ තේ නිෂ්පාදනවලින් බහුතරයක් ලැබුණේ විශාල සමාගම්වලින් වුවත් දැන් එම තත්ත්වය කණපිට හැරි තිබෙන බව. වර්තමානයේ කුඩා තේ වතු හිමියන් හා පෞද්ගලික කර්මාන්ත ශාලා හරහායි නිෂ්පාදනය රැඳී පවතින්නෙ.

ගිය වර්ෂයේ ලැබූ ජයග්‍රහණ ආරක්ෂා කොට 2018 වර්ෂය මෙන්ම ඉදිරි වර්ෂවලදීද තේ මිලද ආරක්ෂා කරගත යුතුයි. එසේම අපගේ තේවල ගුණාත්මක සහ පිරිසුදු බව කෙරෙහි දැඩි අවධානය යොමු කරමින් එම අභියෝගවලට ඍජුව මුහුණ දී කටයුතු කළ යුතුයි. ඒ වගේම නැවත වගා කිරීමද ගිය වර්ෂයේදී ඉහළට ගොස් තිබෙන හෙයින් එලෙසම ඉදිරි වර්ෂවලත් එය පවත්වාගෙන යෑමට කටයුතු කළ යුතුයි.

රජය තේ කර්මාන්තය වෙනුවෙන් මැදිහත් වී තිබෙන ආකාරය ඉතාම ප්‍රශංසනීය තත්ත්වයකයි පවතින්නෙ. ඒ බව සෑම දෙනාටම දැනෙන බවක් හැඟෙනවා. නොයෙක් අවස්ථාවලදී රජය බිලියන ගාණක් මුදල් තේ කර්මාන්තය වෙනුවෙන් වැයකොට තිබෙනවා. තේ මණ්ඩලයේ අතිවිශාල මුදල් කන්දරාවක් ඒ සඳහා වැයකොට තිබෙනවා. වැවිලි සමාගම්වල අනතුරුදායක තත්ත්වයන් ඇතිවූ විට රුපියල් බිලියනයක් බැගින් ලබා දුන්නා. මොකද එවැනි සමාගම් අඩපණ වුණොත් විශාල සේවක පිරිසකට ගැටලු පැන නඟිමින් සමාජයීය ගැටලු රාශියක් මතු වෙනවා. ගංවතුර අවස්ථාවන්හිදී කුඩා තේ වතු හිමියන්, කර්මාන්ත ශාලා යථා තත්ත්වයට පත්කිරීමට ඉතාම ක්ෂණිකව රජය මැදිහත් වී රුපියල් මිලියන 300ක් පමණ ලබා දෙමින් කටයුතු ඉෂ්ට සිද්ධ කළා. එවැනි හදිසි අවස්ථාවන්හිදී රජයක් ලෙස අප මැදිහත් වී තේ කර්මාන්තය ආරක්ෂා කරගනිමින් නඟා සිටුවීමට කටයුතු කළ බවද අමාත්‍යවරයා පවසා සිටියේය.

ඒ වගේම මේ වර්ෂයේදී තේ නිෂ්පාදන සම්බන්ධව අපගේ ගෝලීය ප්‍රචාරණය ප්‍රවර්ධනය කිරීමට බලාපොරොත්තු වෙනවා. ගිය වර්ෂෙය්දී මෙරට තේ වෙනුවෙන් ඉහළම අපනයන වර්ධනයක් ඇතිවී තිබෙන්නෙ තුර්කියෙන්. එය 39.7%ක විශාල වර්ධනයක් ලෙස සඳහන් කළ හැකියි. ඊට ප්‍රධාන හේතුව තුර්කිය අපගේ තේ ලබාගෙන ඔවුන්ගේ තේ සමඟ කළවම් කොට වෙනත් රටවලට අපනයනය කරනවා. එය අපට කිසිම ගැටලුවක් නොවේ. විශේෂයෙන්ම තේ නිෂ්පාදනයේදී අපේ තරගකාරී රට කෙන්යාව. ඔවුන් අපට වඩා නිෂ්පාදනය වැඩිපුර කළත් ලැබෙන මිල අඩුයි. මොකද කෙන්යාවේ තේවලට වඩා අපගේ තේ විදේශ වෙළෙඳ පොළේ මිල අධිකයි. ගිය වර්ෂයේදී තේ අපනයනයෙන් ඇමෙරිකා ඩොලර් බිලියන 1.53ක විදේශ විනිමයක් ඉපයීමට හැකිවූ බව සඳහන් කළ ඇමැතිවරයා රුසියානු තේ අර්බුදය ඉතාම ඉක්මනින් සමථයකට පත්කරගැනීමට හැකි වූ බවද කීවේය. එසේම රුසියාවේ නිරෝධායන නිලධාරීන් සිවුදෙනෙකු ලබන 03 වැනිදා මෙරටට පැමිණෙන බවද අමාත්‍යවරයා අනාවරණය කළේය.

මාධ්‍ය හමුව සඳහා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ජේ. ඒ. රංජිත්, ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපති රොහාන් පෙතියාගොඩ සහ අධ්‍යක්ෂ ජනරාල් අනුර සිරිවර්ධන, තේ කොමසාරිස් ජයන්ත එදිරිසිංහ සහ කොළඹ තේ වෙළෙදුන්ගේ සංගමයේ සභාපති ඇනස්ලම් පෙරේරා ප්‍රමුඛ පිරිසක් සහභාගි වූහ.