අමල් නිසා මහේන්ද්‍ර යශෝධා හේමාල් මියුසික් වීඩියෝවට ආවා

අද කාලයේ ඇසෙන බොහෝ හරසුන් ගීත ගැන රසිකයින්ට ඇත්තෙ හෙම්බත් වූ හැඟීමක්. එවැනි පසුබිමක අමල්ගෙ ඇරයුමකට අනුව මා ලියූ මේ ගීතය එකඅතකට හරිම සුවිශේෂයි. මගේ හිතේ කැකෑරෙමින් තිබූ අදහසක් වුවද, අමල් නොකීවා නම්, මේ විදියට මෙම ගීතය නොලියවෙන්න ඉඩ තිබුණා. ඒ වගේම ලංකාවේ පිරිමි යුග ගී එතරම් නිර්මාණය වෙලා නැහැ. නිර්මාණය වුණත්, ජනප‍්‍රිය වුණේ කලාතුරකින්. අමල් මේ ගීතය ගයන්නෙ අමරසිරි පීරිස් ප‍්‍රවීණයා එක්ක කියලත් මට කිව්වා. ලෝක සාහිත්‍ය කෘති අතර ඇනා කැරලිනා අති සුවිශේෂී කෘතියක් වුණා. ඒ වගේම අසම්මත පේ‍්‍රමය ගැන කතා කරද්දි, මාතෘකා කර ගනිද්දි ලාංකීය සමාජයේ දී ප‍්‍රකාශ වූ දේ සහ ප‍්‍රකාශ වන දේ ඊට වඩා වෙනස්.

 

අමරසිරි සහ අමල්ගෙ මේ යුග ගැයුම ගැන මට වාදයක් විචාරයක් තිබුණෙ නැහැ. ගීත රචනාවේ දී මම සිටින ස්ථාවරයක් තිබෙනවා. එනමුත් මේ ගීතය මේ විදියට බිහිකරන්න පළවැනි වෙඩිමුරය මට තැබුවේ දැනට විදෙස්ගතව සිටින මංජුල වෙඩිවර්ධන සොහොයුරායි.

වරදේ බැඳෙන ගැහැණිය ගැන ඇයගේ පැත්තෙන් කිසිම දෙයක් නොකියා ඇයම එය සාධාරණීයකරණය කරගන්න ප‍්‍රයත්න ගන්නවා. මංජුල මේ විදියට කිව්වාම මටත් දෙයියනේ ඇත්ත නේන්නම් කියන මවිතය මනසට ඇතිවුණා. පිරිමියා ගැන ස්ථිර සාධාරණයක් කරලත් නැහැ. එනිසාම මට විවිධ විචාර චෝදනා එන්නත් පුළුවනි. නමුත් ඒවාට මුහුණ දෙන්න තරම් පතරොම් ඕනෑ තරම් මා ගාව තියෙනවා. අමල් පෙරේරා යනු නිකම්ම පදරචනයකට ගීතයක් ගයන කෙනෙක්ම නොවේ කියන දේ කියන්නත් මට ඕනෑ වුණා. අමල්ට මීට පෙර මම ගීත තුනක් විතර රචනා කර තිබෙනවා. අමල් පිළිබඳව පූර්ව නිගමන පවා සමාජයේ මිනිසුන් අතර තිබෙනවා. ඒ රූපයත් එහෙම නෙවේ කියන්න මින්පසු රසිකයින් පෙළැඹේවි. මේ අපූරු ගීතය මට සුවිශේෂී වූ රචනයක් වූවාසේම මෙහි රූප රචනයට දායකවූ යශෝදා හේමාල් සහ මහේන්ද්‍රගෙ රංගනයන් ගැනත් සඳහන් කළ යුතුමයි. එය හරි විශිෂ්ඨ රංගනයක් ලෙසත් මා දකිනවා.

රස මුසු අරුත් ඇති වින්දනීය ගේය පද රචනා රැුසක් හෙළ ගීත කලාවට දායාද කළ ඒ සොඳුරු ගේය පද රචකයා බන්ධුල නානායක්කාරවසම් ප‍්‍රවීනයාය. ඔහු එලෙසින් මේ පවසන්නේ ඔහු සුරතින් ලියැවුණු අපූරු ගීතයක් නිසාවෙනි. ඔහුට දැනුණ හැඟුණ සතුට වචනවලට පෙරළා ගඟක් සේ මුදා හළේ එලෙසිනි.

සුරේෂ් මාලියද්දේ සංගීත නිමැවුම්කරුවාගේ සංගීතය නිර්මාණයකි. මෙම ගීතය රූප රචනාවක් ලෙස නිර්මාණය වී එළිදැක්වෙන්නේ මෙම 27 වැනිදා වයික්කාලේ සූරිය රිසෝට්හිදීය. එලෙසින් හරි අපූරු හරි වෙනස් ගීතයක් ලෙස එළිදැක්වූ මෙහි රූපරචනයට දායකව සිටින්නේ, ප‍්‍රවීන රංගවේදිනී යශෝධා විමලධර්ම, ප‍්‍රවීන රංගවේදී මහේන්ද්‍ර පෙරේරා සහ වත්මනෙහි ශ්‍රී ලාංකීය සිනමාවේ තරු කුමරකු වන හේමාල් යන ශිල්පීහුය. යශෝධා සෑහෙන කාලයකට පසුව රූප රචනයකට පෙනී සිටින අතර මහේන්ද්‍ර පෙරේරා රූප රචනාවකට එක්ව ඇත්තේ ප‍්‍රථම වතාවටය. රූප රචනාවලට පෙනී සිටීම මින්පසු සිදු නොකරන බව කියා සිටි හේමාල් ඒ සියලූ අදහස් පසෙකට දමා මීට එක්ව සිටී.

මේ නිර්මාණය කිරීමට ප‍්‍රධාන වගඋත්තරකරුවා වූ අමල් පෙරේරා ඒ වෙනුවෙන් සාක්ෂි සැපයුවේ මෙලෙසිනි.

මේ අදහස ආවේ මට නෙවෙයි. දවසක් මම සහ අමරසිරි පීරිස් ප‍්‍රවීනයා ගීතයක් ගයන්න ඕනෑය කියලා මම බන්ධුල අයියාට කිව්වා. ‘මොකක්ද උඹ කිව්වෙ’ කියලා එවිට බන්ධුල අයියා වික්ෂිප්තව වගේ මා දිහා බලා සිටියා. කන බොන එකම කරන උඹට මේ වගේ දේටත් වෙලා තියෙනවද කියලා මට ආදරයට බැන්නා. මෙන්න මේ විදියට තමයි මේකට මුල පිරුවෙ. කොහොම හරි වාසනාවට එයාගෙ මනසේ වස්තු බීජයක් තිබිලා තියෙනවා. ‘විරාග රාගය’ ගීතය නිර්මාණයක් වී පසුව තිසර ඉඹුලානගේ රූප රචනයට නතුවී 27 වැනිදා එළිදැක්වුණේ ඒ විදියටයි.

 

මෙහි රූප රචනාව වෙනුවෙන් රූගත කළේ මොන පළාත්වලදීද?

කොළඹ නගරය ඇතුළේදීමයි.

 

අමරසිරි පීරිස්ට මේ අදහස දුන්නාම ඔහු මොනවද ඔබට කීවෙ?

අමරසිරි අංකල් අපේ තාත්තාගේ මිතුරෙක්. ඒක වෙනම කතාවක්. නමුත් එයාට මේ අදහස කිව්වාම හරි අමල් එහෙනම් කරමු කිව්වා. එයා එහෙම ලෙහෙසියෙන් කැමති වන කෙනෙක් නෙවෙයි. ඒත් මේ නිර්මාණය සමග එකතුවුණා.

 

අමල් කෙටියෙන් කිව්වොත් මේ ගීතය ගැන?

පිරිමි දෙදෙනෙකු මැද්දට ආ ගැහැණියක්. අයිතිවාසිකම් නැති පිරිමියාගෙ පැත්තට ඇති නැඹුරුව ඇයගෙ ප‍්‍රකාශනය කියලා හිතනවා.